Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

පර්යේෂණ කාමරය

විවෘතව තබන වේලාවල්: පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා.

කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේදීද, නුවර පිහිටි ශාඛා කාර්යාලයේදීද, මහජනයා සඳහා පර්යේෂණ පහසුකම් සලසනු ලැබේ.

ලේඛන කාණ්ඩ සඳහා සෙවීම් උපකෘත, සාරංශ, සුචි පත්‍ර සහ ලැයිස්තු මෙහි ඇත.

ලේඛනවලින් තොරතුරු ලබාගැනීම

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් රාජ්‍ය ලේඛන මහජන පරිශීලනය සඳහා විවෘත කරයි. ඇතැම් ආවෘත ලේඛන මහජන පරිශීලනය සඳහා ලබා ගැනීමට ආවෘත කාලය අවසන් වීම හෝ එම ලේඛන නිර්මාණය කළ ආයතනවල බලධාරීන්ගෙන් ලිඛිත අවසරය සහ ලේඛනාගාර අධ්‍යක්ෂකගේ ලිඛිත අවසරය ලබා ගත යුතුය. වර්ෂ 1976න් පසු අද දක්වා පළවූ ප්‍රකාශන සහ ප්‍රවෘත්ති පත්‍ර බැලීම හා පිටපත් ගනීම සඳහා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයෙන් ලබාගත හැක. ඒවා එහි නොමැති නම් මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක. 1976ට‍ පෙර ප්‍රකාශිත ප්‍රවෘත්ති පත්‍ර මෙම දෙපාර්තමේන්තුවේ දී පරිශීලනය කළ හැක. අන් කවර පුස්තකාලයක හෝ ලබාගත නොහැකි පොත් ද මෙම දෙපාර්තමේන්තුවේ දී පරිශීලනය කළ හැක.

පර්යේෂණ / සෙවීම් කාමර පහසුකම්

  • සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත් සඳහා කාලානුක්‍රම සහ අකාරාදී සුචි ඇත.
  • ලේඛන කාණ්ඩ සඳහා සුචි.
  • පර්යේෂකයන් තමන් විසින්ම පර්යේෂණය කළයුතුය
  • ජාතික ලේඛනාගාරයෙහි තැන්පත් කර ඇති සූක්ෂම චිත්‍රපට කියවීමේ යන්ත්‍ර ආධාරයෙන් එම සූක්ෂම චිත්‍රපට බැලිය හැක.
  • ජාතික ලේඛනාගාරයෙහි අධ්‍යක්ෂකගේ අවසරය ඇතිව අතේ ගෙන යා හැකි කුඩා පරිගණක පර්යේෂණ කාමරයේ දී භාවිතා කළ හැක.
  • පර්යේෂණ ක්‍රම, අධිලේඛන ඉදිරිපත් කිරීම සෙවීම් උපකෘත සහ අධිලේඛන භාවිතය පිළිබඳව ලේඛනාගාරයේ වෘත්තීය නිළධාරීන් විසින් උපදෙස් ලබා දෙනු ඇත.

පර්යේෂණ කාමරයේ තැන්පත් කර ඇති ප්‍රකාශන

  • ආණ්ඩුවේ ගැසට් පත්‍ර - 1802 - 1900
  • බ්ලු බුක්ස් (Blue Books) - 1821 - 1937
  • සැසි වාර්තා (Sessional Papers) - 1860න් පසු
  • පරිපාලන වාර්තා - 1867න් පසු
  • හැන්සාඩ් වාර්තා - 1870න් පසු
  • සිවිල් ලැයිස්තු - 1863 - 1962
  • ඔල්මැනැක් (Almanac) - 1815 - 1861
  • පාර්ලිමේන්තු පනත් 1949 සිට

පර්යේෂණ කාමරයේ නීතිරීති

ඔබ ජාතික ලේඛනාගාරයේ පර්යේෂණ කටයුත්තක් ආරම්භ කිරීමට සූදානම් ද? ඒ සඳහා මෙම නීති මාලාව ඔබට වඩාත් උපකාර වේ.

  • ඔබ අවුරුදු 18 ට වැඩි විය යුතුය.
  • ඔබ ජාතික ලේඛනාගාරයේ පර්යේෂණ කාමරයට පැමිණියේ ප්‍රථම වරට නම් හෝ ඔබගේ පර්යේෂණ කාමර අවසර පත්‍රය අලුත් කළ යුතු නම් ඔබගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් අවශ්‍ය වේ.
  • ඔබ සෑම විටකදීම පැළඳිය යුතු අමුත්තන්ගේ අවසර පත්‍රයක් ලබා ගැනීම සඳහා පිළිගැනීමේ අංශය වෙත පිළිගත් අනන්‍යතා පත්‍රයක් (ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, රාජකාරී හැඳුනුම්පත හෝ ඡායාරූපය සහ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වෙනත් හැඳුනුම්පතක්) ඉදිරිපත් කළ යුතුය.
  • මහජන සම්බන්ධතා කාර්යාලයට පිවිස පාඨක අවසර පත්‍රය ලබාගැනීමේ අයදුම්පත ලබා ගන්න.
  • එහි පර්යේෂණ කාමරය භාවිත කිරීමට අවශ්‍ය කාලය සඳහන් කරන්න. ඔබට උපරිම මාස හයක් සඳහා ප්‍රවේශ පත්‍රයක් ලබා ගත හැකිය.
  • මහජන සම්බන්ධතා අංශය මඟින් ඔබට පාඨක අවසර පත්‍රයක් සහ ටිකට් පතක් ලබා දෙනු ඇත. මෙම පර්යේෂණ නීති මාලාව කියවා අවබෝධ කර ගැනීමෙන් පසු ඔබට ලැබෙන අවසර පත්‍ර‍ය අත්සන් කළ හැකිය.
  • දැන් ඔබට පර්යේෂණ කාමරයට පිවිසීමට පුළුවන. ආරක්ෂක අංශය සහ කාර්යය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා පාඨක අවසර පත්‍රය නිරතුරුව ළඟ තබාගන්න.
  • ආරක්ෂක අංශය විසින් ඔබගේ ගමන් මළු සහ වෙනත් පුද්ගලික ද්‍රව්‍ය තැන්පත් කිරීම සඳහා සේප්පුවල යතුරු දෙනු ලැබේ. ඔබ පර්යේෂණ කාමරයට රැගෙන යන සහ ඉන් පිටතට රැගෙන එන සියලු ද්‍රව්‍ය ආරක්ෂක අංශය වෙත පෙන්වීමට සිදු වනු ඇත. විශේෂ අවශ්‍යතාවයක් මත ඔබගේ සියලු ම ගමන් මළු සහ අනිකුත් පෞද්ගලික ද්‍රව්‍ය පරීක්ෂණයට යටත් වන බව කරුණාවෙන් සළකන්න.
  • පර්යේෂණ කාමරයේ කාර්ය මණ්ඩලය වෙත ටිකට්පත ලබා දෙන්න.
  • පැමිණීමේ ලේඛනයෙහි ලියාපදිංචි වන්න. ඔබ ලේඛන පරිශීලනය නොකළ ද, පර්යේෂණ කාමරයට පැමිණෙන සෑම දිනකම මෙම ලේඛනයේ අත්සන් කළ යුතුය.

  • පැන්සල්, සටහන් පොත්, වෙනත් කඩදාසි සහ විශාලක කාච (magnifying glass) රැගෙන ඒම සඳහා ඔබට අවසර ඇත. ලිපිගොනු කවර ගෙන ඒමෙන් වැලකිය යුතුය.
  • ඔබට ලබා දුන් සේප්පුවේ ඔබගේ ගමන් මළු, ලැප්ටොප් බෑග් සහ ආවරණ තැබිය යුතුය.
  • පර්යේෂණ කාමරයේදී ඔබ විසින් රැගෙන එන මුද්‍රිත පොත් භාවිත කිරීමට අවශ්‍ය නම්, පර්යේෂණ කාමරය ඉදිරිපිට සිටින ආරක්ෂක නිලධාරියාට පෙන්වා ඒ සඳහා නියමිත පෝරමය සම්පූර්ණ කර පර්යේෂණ කාමරය භාර නිලධාරියාගේ අනුමැතිය ඇතිව පමණක් පර්යේෂණ කාමරයට රැගෙන යාමට පුළුවන.
  • ඔබේ ලැප්ටොප් පරිගණකය, ටැබ්ලට් යන්ත්‍රය සහ ජංගම දුරකථනය රැගෙන යා හැකිය. කරුණාකර ඔබගේ දුරකථනයේ සහ පරිගණකයේ ශබ්ද පර්යේෂණ කාමරය තුළ දී නිමා කර ඇති බව තහවුරු කර ගන්න. පර්යේෂණ කාමරය ඇතුළ දී දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.
  • ඔබ විසින් ඡායාරූප ගැනීමට අදාළ ගෙවීම් කර ඇති විට ඔබගේ කැමරාව රැගෙන යා හැකිය. කැමරාවේ ආලෝකය (ෆ්ලෑෂ්) සහ ශබ්දය අක්‍රීය කරන්න.
  • කතුරු, පිහි සහ පැන්සල් මුවහත් කරන උපකරණ වැනි තියුණු උපකරණ රැගෙන යා නොහැක.

  • පර්යේෂණ කටයුතු සඳහා මාර්ගෝපදේශන ලබා ගැනීම සඳහා පර්යේෂණ කාමර නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ඔබට ගැටළු තිබිය හැකිය. ජාතික ලේඛනාගාරයේ නිලධාරීන්ට ලැබෙන කාලය අනුව ඔබට සහාය වීමට අපි නිරතුරුව කටයුතු කරන්නෙමු. මූලික වශයෙන් විමසීම් සඳහා අප සතුව මාර්ගෝපදේශ තුනක් ඇත:
    • අප විසින් නිතර සෙවීම් සිදු කිරීමට භාවිත කරන, යම් නිශ්චිත ගාස්තුවලට යටත් වන ලේඛන කාණ්ඩ තිබේ.
    • අප සතුව ඇති ලේඛනවල ස්වභාවය, ප්‍රමාණය සහ ඒවා ඔබගේ අවශ්‍යතාවයන්ට අදාළ වන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට පුළුවන.
    • ඔබගේ පර්යේෂණයට අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට පර්යේෂණ සිදු කිරීම ඔබගේ වගකීමකි.
  • ලේඛන පෙළගස්වා ඇත්තේ එම ලේඛනවල ප්‍රභවය පිළිබඳ න්‍යාය පදනම් කර ගෙනය. ඒ මඟින් ලේඛන උපත ලැබූ ආයතනය හෝ පුද්ගලයා යන්න අදහස් වේ.
  • ඔබට පර්යේෂණයකට අවශ්‍ය වන්නේ ඉඩම් ලේඛන හෝ රහස්‍ය ලේඛන වැනි පරිශීලනය සීමා කර ඇති ලේඛන කාණ්ඩයකින් නම්, ඒ සඳහා ලිපියක් මඟින් අවසර ලබා ගැනීමට අවශ්‍ය වන අතර පර්යේෂණ කාමරයේ එම ලේඛන පරිශීලනයට වෙන් කළ මේසයේ පමණක් ඉඩ දෙනු ලැබේ.
  • අංශ භාර නිලධරයාගේ අවසරය යටතේ පමණක් එම ලේඛන වෙනත් මේසයක පරිශීලනය කළ හැකිය.
  • අපගේ පුස්තකාලය අධිලේඛන මූලාශ්‍ර පරිශීලනයට අවශ්‍ය සම්බන්ධීකාරකයක් විනා සාමාන්‍ය පුස්තකාලයක් ලෙස සේවා සපයනු නොලැබේ. සාමාන්‍ය පරිශීලනය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හෝ කොළඔ ජාතික කෞතුකාගාර පුස්තකාලය භාවිත කළ හැකිය.
  • ඔබට අවශ්‍ය එක් එක් ලේඛනය සඳහා වෙන වෙනම ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය. මෙම ඉල්ලුම්පත්‍ර ඔබේ මේසයෙහි ඇත. එහි අවශ්‍ය තොරතුරු සියල්ල පැහැදිලිව සම්පූර්ණ කළ යුතුය.
  • එක් වරකට ඉල්ලා සිටිය හැක්කේ ලේඛන තුනකි. හැකි ඉක්මනින් අදාළ ලේඛන ඔබට ලබාදීමට අප උත්සහ දරන අතර, ආරක්ෂිත තත්ත්වයන් යටතේ ලේඛන තැන්පත් කර ඇති බැවින්, ඒවා ලබා දීම තරමක් ප්‍රමාද වීමට පුළුවන. ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා ලබාගත් ලේඛන තුන පරිශීලනය අවසන් කිරීමට පෙර, පරිශීලනයට වෙනත් ලේඛන අවශ්‍ය නම් ඔබට ඊළඟට අවශ්‍ය ලේඛන තුන සඳහා ඉල්ලීමක් කළ හැකිය.
  • ඔබ දිනකට ලේඛන හයක් ඉක්මවා ඉල්ලුම් කරන්නේ නම්, එම අමතර අයිතම නිකුත් කිරීම සඳහා මුදල් ගෙවීමක් කළ යුතු වේ. අදාළ ගාස්තු පිළිබඳ පර්යේෂණ කාමර නිලධරයන්ගෙන් විමසිය හැකිය. පර්යේෂණ කාමරයේ සහ පුස්තකාලයේ තැන්පත් පොත් සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ඔබ ඉල්ලා ඇති ලේඛන ඔබගේ මේසය වෙතට ගෙනු එනු ලැබේ.
  • ඔබ ඉල්ලුම් කර ඇති ලේඛන පරීක්ෂා කර අවසන් කළ වහාම එම ලේඛන පර්යේෂණ කාමරයේ නිලධාරීන් වෙත ආපසු ලබා දිය යුතු අතර, ඒ දක්වා ඔබ ලේඛන සඳහා වගකිව යුතු වේ. ප්‍රමාණයෙන් විශාල ලේඛන හැසිරවීම සඳහා කාර්යාල සහායකයින්ගේ සහාය ඉල්ලා සිටිය හැක.
  • ඉදිරි දිනවලදී ද එකම ලේඛන නැවත පරිශීලනය කිරීමට අවශ්‍ය නම් එම ලේඛන 'R' ලකුණ සහිත කොඩි මඟින් සළකුණු කර අංශ භාර නිලධාරියා දැනුවත් කළ යුතුය. විශේෂ අවසරයක් මත මිස එම ලේඛන රාජකාරී දින දෙකක් පමණක් රඳවා තබනු ලැබේ.
  • ලේඛන සඳහා කරන ඉල්ලීම් ප.ව. 03.30 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර, සියලු ම ලේඛන ප.ව. 4.00 වන විට ආපසු භාර දිය යුතුය.
  • භෞතික තත්ත්වය අයහපත් හෝ යම් විශේෂ වටිනාකමක් සහිත ලේඛන විශේෂ අධීක්ෂණයක් යටතේ පරීක්ෂා කළ යුතු වේ. මේ පිළිබඳ අවසාන තීරණය ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් විසින් ගනු ලැබේ.
  • පොදු ප්‍රවේශ පරිගණක ලබා දී ඇත්තේ SLNA දත්ත සමුදායන්ට ප්‍රවේශ වීම සඳහා පමණි.

  • පරිලෝකනය කිරීම හෝ ඡායාරූප ගැනීම සඳහා ඉල්ලීම් කිරීමේදී පළමුව පර්යේෂණ කාමරය භාර නිලධාරියා වෙත ඉල්ලීම ඉදිරිපත් කර ලේඛන ප්‍රතිමූර්තිකරණය කිරීමට සුදුසු මට්ටමක පවතී නම් ඒ සඳහා අයදුම්පත්‍රය ලබා ගාස්තු පිළිබඳ විමසන්න.
  • පරිලෝකනය කිරීම හෝ ඡායාරූපකරණය සඳහා අවශ්‍ය කරන පිටු නිවැරදිව කොඩි දමා සළකුණු කරන්න.
  • සෑම දිනකම ප.ව. 3 ට පෙර මහජන සම්බන්ධතා අංශය වෙත ගෙවීම් කළ යුතුය.
  • ඡායාරූපය ගැනීමට පෙර ඒ සඳහා ගෙවීම් කර ලබාගත් ලදුපත් පර්යේෂණ කාමරය භාර නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ආලෝකය විහිදුවීම (Flash) භාවිත නොකරන්න.

  • ලේඛන හැකි තරම් අවම වශයෙන් මෙහෙයවන්න. අධිලේඛන හා වෙනත් ලේඛන පරිශීලනය කිරීමේදී සෑම විටම සැලකිලිමත් වන්න. කිසිදු ආකාරයකට මුල් ලේඛන මත ලිවීම හෝ සලකුණු කිරීමක් නොකළ යුතුය.
  • පර්යේෂණ කාමරයෙන් පිටතට ලේඛන රැගෙන යා නොහැක.
  • ක්‍රීම් සහ ආලේපන වර්ග ලේඛනවල භෞතික තත්ත්වය දිරාපත් වීමට හේතු වන බැවින්, ලේඛන පරිශීලනය කිරීමේදී ඔබගේ දෑත් ක්‍රීම් සහ ආලේපන වර්ගවලින් තොරව තබා ගැනීමට සැළකිලිමත් වන්න.
  • ලේඛනවල පිටු පෙරලීමේදී ඇඟිලි මත ජලය හෝ කෙළ ගෑවීමෙන් වළකින්න.
  • සැම විටම පැන්සල් භාවිත කළ යුතු අතර කිසි විටක පෑන්, marker pen, මකන හෝ මකන දියර භාවිතා නොකළ යුතුය. පැන්සල් මුවහත් කිරීම සඳහා පර්යේෂණ කාමරයේ තබා ඇති කටරය පමණක් භාවිත කළ යුතුය.
  • පිටු සලකුණු කිරීමට ඇලෙන සුළු ස්ටිකර් (Post-It) භාවිතා නොකරන්න. ඒ සඳහා මේසයේ සපයා ඇති කඩදාසි කොඩි පමණක් භාවිතා කරන්න. ලේඛනවල දැනටම බහා ඇති සළකුණු කොඩි ඉවත් නොකරන්න.
  • පිටු පෙරලීමේදී ලේඛනවලට හානි නොකළ යුතු අතර පිටුවේ දකුණු පස ඉහළ කෙළවරෙන් අල්ලා ප්‍රවේශමෙන් පිටු පෙරලීම කළ යුතුය.
  • ලේඛන මත ඔබගේ අත් තැබීම නොකළ යුතු අතර ලේඛන මත වෙනත් කිසිදු ද්‍රව්‍යයක් තැබීමෙන් වැළකිය යුතුය. එමෙන්ම ලේඛන නැවීමෙන් සහ ලේඛන අතර හෝ මත ඔබගේ පෞද්ගලික ලිපි ද්‍රව්‍ය තැබීමෙන් වළකින්න.
  • මේසය මත හෝ ලේඛන රඳවනය මත සමතලා ලෙස ලේඛන දිග හැරිය යුතු අතර අත්වලින් ලේඛන රඳවා නොගත යුතුය. ලේඛන රඳවා තැබීමේදී සම්පූර්ණ ලෙසම ලේඛනයට ආධාරකයක් දිය යුතුය.
  • ලේඛන සහ ගොනුවල පිටු පිළිවෙළ ආරක්ෂා කළ යුතු අතර, පිටු අනුපිළිවෙළ වෙනස් වී ඇති විටකදී ඔබ එය සැකසීමට උත්සාහ නොකර, ඒ පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කාරුණික වන්න.
  • පිටු පිළිවෙළට සකස් කිරීම සඳහා ලේඛන මේසය මත තබා තට්ටු කිරීම නොකර අතින් පමණක් පිටු සකස් කරන්න.‍
  • ලේඛනයකට කිසියම් හානියක් සිදුවී ඇත්නම් එය සංරක්ෂණ සඳහා යොමු කිරීමට කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න. ලේඛනයකට කිසියම් හදිසි අනතුරක් සිදුවුවහොත් එය වහාම වාර්තා කරන්න.
  • ලේඛන මත සව් කඩදාසි ආදිය අතුරා අනුරේඛනය නොකරන්න.
  • ඔබ විසින් ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති ඕනෑම වාර්තාවක්, අත්පිටපතක් හෝ ලේඛනයකට හානි කිරීම හෝ හානි කිරීමට තැත් කිරීම සිදුවුවහොත් ජාතික ලේඛනාරක්ෂක නීතිය අනුව, එනම් 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනතේ 17 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.
  • පර්යේෂණ කාමරය තුළ ඕනෑම අයකුගෙන් කිසියම් විමසීමක් කිරීමේදී නිහඬ බව ආරක්ෂා කරන්න. සැම විටම අන් අයට බාධාවක් නොවීමට වග බලා ගන්න.

    මෙම නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන බවට තහවුරු කිරීම ජාතික ලේඛනාගාරයේ කාර්ය මණ්ඩලයේ වගකීමයි. ඔබ මෙම නීති රීති පිළිපැදීමට අපොහොසත් වන්නේ නම්, එය ඔබ පරිශීලනය කරන ලේඛන සඳහා අවසර ලබා නොදීමට හෝ ඔබගේ පාඨක අවසර පත්‍රය අවලංගු කිරීමට ද හේතු විය හැකිය.

  • ප්‍රකාශන අයිතිය පවතින අත්පිටපත් / ලේඛන ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉල්ලීම් ජාතික ලේඛනාරක්ෂක අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ප්‍රකාශන සඳහා තොරතුරු භාවිතා කරන කල්හී එම තොරතුරු ලබාගත් ප්‍රභවය සඳහන් කළ යුතුය.
  • ලියනු ලබන ශාස්ත්‍රීය නිබන්ධන හෝ ප්‍රකාශනවල එක පිටපත බැගින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙහි තැන්පත් කළ යුතුය.
  • ජාතික ලේඛනාගාරයෙහි පවත්නා සම්පත්වලින් තොරතුරු හෝ පාඨ ලබා ගෙන ප්‍රකාශයට පත්කරන කල හෝ ඒවා සඳැහුමට පාත්‍ර කරන කල, එබඳු ප්‍රයෝජන ගැනීම් පහත සඳහන් පරිදි පිළිගත යුතුය:

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නම / ලේඛන කාණ්ඩ අංකය / ලේඛන අංකය හෝ අංක
    උදා:- SLNA 1/500

Normal 0 false false false MicrosoftInternetExplorer4

Archival Records are issued to the readers subject to the following rules

General Conditions:

අවසන් යාවත්කාලීන කිරීම 2019 ජනවාරි 22 වෙනි අඟහරුවාදා, 03:44  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.